අවජනිතයා – BOOK REVIEW 01

වර්ෂ1927

යුරෝපීයයන් සහ ස්වදේශිකයින් අතර නීති විරෝධී කායික සංසර්ග පැවැත්වීම සහ එයට සම්බන්ධ අනෙකුත් ක්‍රියාවන් තහනම් කිරීමේ පනත පහත පරිදි වේ.

1 කවර හෝ යුරෝපී පුරුෂයකු ස්වදේශික කාන්තාවක් හෝ ස්වදේශික පුරුෂයකු යුරෝපීය කාන්තාවක් සමග පවත්වන කායික සම්බන්ධතාවය සාපරාධී ක්‍රියාවක් හෙයින් පස් වසරකට නොවැඩි සිර දඬුවමකට දඩුවමකට යටත් වේ .

2 කිසියම් වූ ස්වදේශික කාන්තාවක් යුරෝපීය පුරුෂයෙකු සමග කායික සම්බන්ධතාවයක් පැවැත්වීම සඳහා අවසර දීම සහ කවර හෝ යුරෝපීය කාන්තාවක් ස්වදේශීය පුරුෂයකු සමඟ නීතිවිරෝධී කායික සම්බන්ධතාවක් පැවැත්වීම සඳහා අනුබල දීමත් නීතිවිරෝධී අපරාධයක් බැවින් සිව් වසරකට නොඅඩු දඩුවමකට යටත් වේ .
(නීතිය ක්‍රියාත්මක වීමේදී අදාළ පුද්ගලයා සුදු ජාතික පිරිමියකු නම් ඔහු බීමත්ව පසු වූවා යැයි සුළු දඩුවමක් ලබා දුන් අතර , අදාළ පුද්ගලයා කළු ජාතික පිරිමියෙකු නම් අනිවාර්යෙන් දූෂණ චෝදනාව යටතේ සිරගත කරන ලදී )

………………………………………………………………………………………………………………………………………………………………………………………………………

මෙලොව ජීවත්වන ඔබ කුමන හෝ කණ්ඩායමකට අයත් විය යුතුය , නොඑසේ නම් ඔබ හුදෙකලා වනු ඇත .ලෝපතළ ප්‍රහසන නළුවෙකු වන ට්‍රෙවර් නෝවා සුදු ජාතික පියෙකුට හා කළු ජාතික මවකට දාව උපත ලද දරුවෙකි .සුදු ජාතිකයින් ජීවත් වන ප්‍රදේශය තුළ දී සිය මව ගෙන් ඔහුට ලැබුණු කළු ජාතික ජාන හේතුකොටගෙන සුදු ජාතිකයන්ගෙන් ඔහුව සඟවා තබා ගැනීමටත්, කළු ජාතික සමාගම තුළ සිය පියාගෙන් ලද කළු ජාතිකයන්ට නොලැබෙන පැහැපත් බව නිසා කළු ජාතික සමාගමෙන් යම් අවස්ථා වල පිටව යාමටත් ඔහුට සිදුවිය .

ට්‍රෙවර් මෙලොව එළිය දකින්නේ දකුණු අප්‍රිකාවේ යටත් විජිත සමය තුළ මිශ්‍ර විවාහ තහනම් වූ සමයේය. සුදු ජාතිකයින් හා කළු ජාතිකයින් අතර විවාහය තහනම් වූ අතර මෙලෙස සුදු හා කළු ජාන මිශ්‍ර වූ මිශ්‍ර දරුවන් සෑදීම නීතියෙන් තහනම් වූ යුගයක ට්‍රෙවර් උපත ලබන්නේ මිශ්‍ර දරුවකු ලෙස ය .

මිශ්‍ර දරුවෙකු ලෙස ට්‍රෙවර්ට ජීවිතය කිසි විටෙකත් ලෙහෙසි වූයේ නැත .හමේ පැහැය අනුව මිනිසුන් උසස් හා පහත් යැයි වර්ග කොට දක්වන යුගයක ට්‍රෙවර්ට උරුම වූයේ විටෙක සැඟවී, විටෙක පසු බාමින් තම ජීවිතය ගෙවන්නටය. සිය පුතුට මහත් ධෛර්යයක් සපයමින් නිරතුරුව ට්‍රෙවර් පසුපස සිටි අපුර්ව චරිතය වූයේ ඔහුගේ මවයි .

පැට්‍ර්ශියා නොහොත් ට්‍රෙවර් ගේ අම්මා ලොව සිටින හිතුවක්කාරම හා විනෝදාත්මකම මව යැයි පැවසීමේ වරදක් නැති බව පොත කියවාගෙන යන ඔබට මොනවට වැටහෙනු ඇත.
උග්‍ර ක්‍රිස්තියානි ජාතික බැතිමතියක් වූ ඇය සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට යැයි ඇදහූවාය. තම වාහනය මග කැඩුනද හොඳක් හෝ නරකක් මේ සියල්ල, ලොව සියලු දේ ම ඇයට අනුව දෙවියන් වහන්සගේ ම කැමැත්ත විය . මව කෙරෙහි තිබූ දෙවියන් වහන්සේ ගැන මේ දැඩි භක්තිය ගැටවර වියේ පසුවන නෝවාට හිසරදයක් වූ අවස්ථා නම් නැතුවම නොවේ , ඇයගේ මෙම දෙවියන් වහන්සේ ගැන තිබූ ආකල්ප බිඳීමට තරුණ ට්‍රෙවර් තර්ක ගෙනාවා ද ඒවාට ගැළපෙන අපූරු පිළිතුරු නිරතම ඇය සතුවිය .

අවසානයේ තම දෙවන සැමියාගේ වෙඩි පහරට ලක්වන ට්‍රෙවර්ගේ මව හාස්කමකින් මෙන් දිවි ගලවා ගැනීමට සමත් වන අතර මව ගේ සියලු වියදම් පියවා දමන ට්‍රෙවර් මවට විහිලුවක් කිරීමට සිතා,
“හැබැයි අම්මා ඉස්පිරිතාලෙ බිල ගෙවන කොට නම් ඔයාගේ දෙවියන් වහන්සේ කොහෙද හිටියේ කියන එක නම් ප්‍රශ්නයක් ?”
එමගින් බිඳුවකුදු අධෛර්යයට පත් නොවන ට්‍රෙවර ගේ මව ගේ පිළිතුර වන්නේ ,

“ඔයා හරි පුතා ඒ නිසා තමයි දෙවියන් වහන්සේ මට බිල ගෙවන්න පුළුවන් පුතෙක් හදලා දුන්නේ ” යන්නයි .

කළු ජාතිකයෙක් ව ඉපදීම මූලික වරදක් වූ යටත්විජිත යුගයක , සිය මනුෂ්‍ය අයිතිවාසිකම් සියල්ල අහේතුකව කඩවී යන යුගයක, කළු ජාතිකයින්ගේ ගැලවුම්කරු නෙල්සන් මැන්ඩෙලා නම් මනුෂ්‍ය ගුණාංගයන්ගෙන් පිරිපුන් මිනිසාගේ ආගමනය සිදු වෙයි. ඔහු විසින් බෙදී වෙන් වූ සෑම ජන කොටසක්ම එකතු කරමින් එකමුතුකමින්, මිනිසත්කමින් පිරී ගිය නව දකුණු අප්‍රිකාවක් තනන්නට උත්සාහ ගනියි. ඔහු ගේ ආගමනයත් සමග ට්‍රෙවර් ඇතුළු සියලු අප්‍රිකානුවන්ගේ දෑස් තුළ නිවහල් නිදහස් දේශයක් වෙනුවෙන් නව බලාපොරොත්තු ඇති විය .

BORN A CRIME ලෙස තම ජීවිත කතාව කෘතියකට ගොනුකරන ට්‍රෙවර් තම ජීවිතයේ ළමා කාලයත්, ගැටවර වියත් අතර තම ජීවිතය තුළ මුහුණ දීමට සිදු වූ කටුක වගේම ආදරණීය , හාස්‍යජනක මතකයන් ස්මරණය කරයි.

“අවජනිතයා” ලෙස සිංහල බසින් සාර්ථකව පරිවර්තනය කර ඇති මෙම කෘතිය ,ඔබ කියවන පොත් අතර කියවිය යුතුම පොතකි .
………………………………………………………………………………………………………………………………………………………………………………………………………

ට්‍රෙවර් නෝවා ජනප්‍රිය දකුණු අප්‍රිකානු විකට නළුවෙකි, ලේඛකයෙකි, නිෂ්පාදකයකු , දේශපාලන විචාරකයකු , නළුවෙක් සහ රූපවාහිනී සත්කාරකයකු වන ඔහු comedy central හි ඇමරිකානු උපහාසාත්මක වැඩසටහනක් වන ඩේලි ෂෝ හි සත්කාරකයා ද වේ. එසේම ඔහු විසින් තනිව ඉදිරිපත් කළ “ද රෙසිස්ට්” නැමැති වැඩසටහනින් ඉමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගනු ලැබීය .

අවජනිතයා
පරිවර්තනය : අචලා සුභාෂිණි සිරිතුංග
ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
මිල : 650/=
පිටු : 328
වියත් ඔස්සේ ඇණවුම් කිරීමට ☟︎︎︎

අවජනිතයා

Loading...