Cart

නර්මදාවේ ගී රාවය

“ඒ වගේ මිනිස්සු අපගේ ජීවිත අතරින් ගලායන දියකඳක් වාගේ පුංචි මල්ලියේ. අපි ඒ හමුවීමෙන් යමක් ඉගෙනගන්නකොට ඒගොල්ලො ඉවත් වෙලා යනව, අපිට ආයේ ඒගොල්ලන්ව හමුවෙන්නෙ නෑ.”
උපුටාගැනීම : නර්මදාවේ ගී රාවය 
ගීතා මේතා නම් මෙකී කෘතියේ රචිකාවිය 1943 වර්ෂයේ ඉන්දියාවේ දිල්ලියේ උපන්නියකි. ඇය පද්ම ශ්‍රී සම්මානලාභී ලේඛිකාවකි. ඇය ලේඛන වෘත්තියට අමතරව වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂකවරියක් සහ මාධ්‍යවේදිනියක ලෙසත් කටයුතු කරයි. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇගේ කෘති වලින් ඉන්දියාවේ පවතින ආගමික සම්ප්‍රදායන් සහ ඉන්දියානු සංස්කෘතීන් පිළිබඳව වෙනස්ම පැතිකඩක් විවරණය කරයි.
………………………………………………………………………………………………………………………………………………………………………..
“A River Sutra” නම් වූ ගීතා මේතා විසින් රචිත මේ කෘතියෙන් නර්මදා නම් නදිය ආසන්නව ජීවත්වන මිනිසුන් සහ ඔවුන්ගේ සංස්කෘතිය පිළිබඳවත්, නර්මදා නදිය හා බැඳී ඇති ආගමික සම්ප්‍රදායන් පිළිබඳවත් ගැඹුරු ලෙස විවරණය කිරීමක් සිදුවේ. එකී විවරණය “නර්මදාවේ ගී රාවය” නමින් අපට සිංහලට පෙරලා කියවීම පහසුකොට ඇත්තේ හේමන්ත රණවීරයන් විසිනි.
ඉන්දියාව යනු බොහෝ ආගමික සම්ප්‍රදායන් රාශියක් ඇකයේ තබා නලවමින් සනසමින් සිටිනා රටකි. ජනගහණය මෙන්ම ආගමික සම්ප්‍රදායන්ද බොහෝ වෙයි. නර්මදා නදිය හා බැඳුණු ශිව ප්‍රමුඛ ආගමික සම්ප්‍රදායක් පිළිබඳ විවරණයක් මෙකී කෘතියේ විස්තර කෙරෙයි. නර්මදා නදිය අවට ජීවත් වන්නාවූ ජනයා පිළිබඳවද මෙයින් පාඨකයාට විස්තර කෙරෙයි.
නර්මදා නදිය කුමක්දැයි නොදන්නා පාඨකයාට පවා අසාධාරණයක් සිදු නොම වන ලෙස කර ඇති පාරිසරික විස්තරාත්මක විග්‍රහය, කෘතිය කෙරේ පාඨකයා ඇද බැඳතබා ගන්නට සමත් වේ. එමෙන්ම නර්මදා නදියේ බිහිවීම පිළිබඳ වූ ආගමික මතය පවා මනරම් ය. එය පහත උපුටාගැනීමෙන් පෙන්නුම් කෙරේ.
………………………………………………………………………………………………………………………………………………………………………..
ලෝකයේ මැවුම්කරු මෙන්ම විනාශ කරන්නාද වන ශිව උග්‍ර තාපස වෘතවල යෙදී සිටින විට ගලා ගිය දාඩිය දිය දහරාව කඳු පාමුලදී ස්ත්‍රියකගේ වේශය ගත්තේය. සුරූපී කන්‍යාවක වූ ඇගේ හාවභාව ලීලාවලට තවුසන්ගේ දැහැන් බිඳුණේය. විටෙක ඇය සැහැල්ලු නාටිකාංගනාවක ලෙස පෙනී සිටියාය. තවත් විටෙක අරුමැසි ප්‍රේමයෙන් පිරුණ සිහින ලොව සරන්නියකි. බොහෝ විට ඇය ලිහිල් අඟපසඟ සලිත කර ආශාවන් කුල්මත් කරන සියල්ලන් වශී කරගන්නියකි. ඇගේ නිර්මාණාත්මක රංගනයෙන් ප්‍රීතියට පත් ශිව ඇය නර්මදා යයි නම් කළේ ප්‍රමෝදය ජනිත කරන්නියක් යන අරුතිනි. “ඔබ සදහටම ශුද්ධවන්තියකි. කිසිදා නොසිඳෙන්නියකි.” මෙසේ කිවූ ශිව ඇගේ අත පතන්නන්ගෙන් වඩාම රාගික වූ සියලු ගංගාවල රාජයා වූ සාගරයට ඇය විවාහ කර දුන්නේය.
උපුටාගැනීම : නර්මදාවේ ගී රාවය
මෙලෙසින් කෘතියේ මුල් භාගයේදීම අපට කතුවරිය නර්මදා නදිය හඳුන්වාදෙන ආගමික කෝණය මෙයයි. (පාරිසරික කෝණය පිළිබඳ කොටස මා මෙහි උපුටාදැක්වීමක් සිදු නොකළේ කෘතිය කියවන පාඨකයාට මනසේ මැවිය යුතු අවස්ථාව අහිමි කිරීමට සිත් නොදුන් බැවිනි.)
මෙකී ශිව දෙවියන් විසින් මවා ඇත්තී වන නර්මදා නදියේ කතාව ඉදිරියට ගලායාම බොහෝ රසවත් වන්නේ, ආගමික සම්ප්‍රදාය හා ගැටෙන්නේ මිනිස් මනසේ විචක්ෂණශීලී බුද්ධිය බැවිනි. එකම කඹයක් දෙපසට දෙදෙනෙකු විසින් ඇදීමක් සිදුවීමේදි සිදුවන ක්‍රියා පාඨක මනසේ හැඟීම් සහ අවබෝධය අතර දෝලනය වෙමින් ක්‍රියාත්මක වෙයි.
මෙකී කතාවේ ප්‍රධාන චරිතය වන්නේ විශ්‍රාමික රජයේ ඉහල පෙළේ තනතුරක සේවය කළ තැනැත්තෙකි. ඔහුට අවැසි වන්නේ ලෞකික ජීවිතයෙන් හා මිනිසුන් බහුල පරිසරයෙන් මිදී නිස්කලංක පරිසරයක, ආධ්‍යාත්මික සැනසීමෙන් යුක්තව ජීවත්වීමයි. ඔහු එබැවින් පූජනීය නර්මදාව ආසන්නයේ සංචාරක නිවසක පාලක තනතුර තෝරාගනිමින් එහි ජීවත් වෙයි.
ඉන්දියානුවන්ට අනුව නර්මදාව පූජනීය ගංගාවකි. ඉන්දියාවේ ගංගා වලින් ශුද්ධවන්තම ගංගාව නර්මදාව වන්නේය. මෙකී ප්‍රධාන චරිතය තම ජීවිතයේ සැදෑ සමය මෙකී පූජනීය නර්මදාව ආසන්නයේ ගෙවීමට අවුත් ඔහු ඉගෙන ගන්නා සියලුම අවබෝධාත්මක පාඩම් ඒවා ඉගැන්වූ චරිත ඇසුරින් පාඨකයන් වෙත ගෙන එයි.
………………………………………………………………………………………………………………………………………………………………………..
පුරුෂයකු සහ ස්ත්‍රියක අතර ඇතිවන ආදරය ඔවුන් හුවමාරු කරගන්නා මල් වල රැඳී තිබේද? නැත්නම් වෙළෙන්දෙකුගේ ධනයට ඇති ඇල්ම කාසි මත රැඳී තිබේද? එතනදී ඔබට දකින්නට ලැබෙන්නේ ආදරයේ සංකේත මිස ආදරය නොවන බව සිතාගන්න.
උපුටාගැනීම : නර්මදාවේ ගී රාවය
කෘතියේ එන සංචාරක නිවසේ පාලකයාට නර්මදාව අභියස හමුවන එක් භික්ෂුවකගේ කතාව පැවසීමේදී එකී භික්ෂුව තමාගේ කතාව ආරම්භ කරන්නේ ඉහත උපුටාගැනීමේ දක්වා ඇති වදන් වැල් සමගයි. ඔබට එකී උපුටාගැනීමෙන් කෘතියේ ගලායන්නා වූ ගැඹුරු විවරණයන්, නැතහොත් අප ආධ්‍යාත්මයේ එක් දශමයක හෝ නගාසිටුවීමකට කෘතියේ එන විවරණයන් බලපාන අයුරු පැහැදිලි වනු ඇත.
එදිනෙදා ජීවිතය තුළ අප දකිනා සංකේත සහ අප  ඒවායේ ගැබ්ව පවතින්නා වූ ඇතැයි විශ්වාස කරනා හැඟීම් තවදුරටත් එකක් නොව දෙකක් බව ඉහත උපුටාගැනීමෙන් පැහැදිලි වනු ඇත. නර්මදාවේ පූජනීය හා බැඳුණු කතාන්දරද මෙසේමය. එකකට එකක් අනෝන්‍ය වශයෙන් බැඳී ඇතැයි සිතන බොහෝ දෑ වලින් එකක් සංකේත මාත්‍රයක් පමණි.
පූජනීය නර්මදාව අසළට පැමිණෙන බොහෝ තවුසන් එකී ගංගාව තුළින් සංසාර චක්‍රය නිමා කිරීමේ රහස් සොයයි. ඔවුන් තමාගේ ආධ්‍යාත්මික සුවය නර්මදාව හා බැඳී පැවතෙමින් සොයන්නේ නර්මදාවට ඇලී ගැලීම තුළ පවා තමන්ගේ සදාතනික ආධ්‍යාත්මික සුවය දෙදරා යාමක් සිදු වන බව තේරුම් නොගැනීමෙන් ය. ඔවුන් ඔවුන් විශ්වාස කරන්නා වූ ආගමික සම්ප්‍රදාය තුළ කිඳීයන්නේ තම පරමා’යුෂ අවසන් කිරීමට ස්ව කැමැත්තෙන් නර්මදාව තුළ කිඳී යන ආකාරයෙනි. පහත උපුටාගැනීමෙන් ඔබට පූජනීය නර්මදාව ආසන්නයේ වෙසෙන තවුසන්ගේ තවුස්දම් හී අවසානය වැටහෙනු ඇත.
නිසලතාව තුළ ගඟේ දිය රැලි ඉවුරුවල වදින හඬ ඇසේ. මේ වෙලේ අමර්කාන්තක් ශුද්ධ ජලාශය අසල භාවනායෝගීව සිටින තවුසන් ඒ භාවනා තුළින් සංසාර චක්‍රයෙන් හා මරණයෙන් නිදහස් වීමට උත්සුක වෙමින් සිටිතැයි මට හැඟේ.
………………………………………………………………………………………………………………………………………………………………………..
මේ අලුයම් වෙලාවේම සමහර විටක ගඟ පහළට පාවී එන මඳදුරු එළියක් මට දිස්වේ. ඒ දැවෙන ගිනි අඟුරු කටේ රුවාගෙන ගඟට පනින ලද තවුසෙකුගේ මළසිරුරකි.
උපුටාගැනීම : නර්මදාවේ ගී රාවය
සංචාරක නිවාස පාලකයා වන කෘතියේ ප්‍රධාන චරිතය මෙකී තවුසන්ගේ ජීවන සිදුවීම් වලින් ශෝකාකූලව ජීවිතාවබෝධයේ දිග පළල සොයනා විට ඔහුගේ මිතුරෙකු වන්නා වූත්, පූජනීය නර්මදාව ආසන්නයේ ජීවත් වන්නා වූත් ඉස්ලාමීය ශාස්ත්‍රඥයකු වන තාරික් මියා හමුවට යයි. ඔහුද නර්මදා නදිය ආශ්‍රිතව ජීවත් වන්නෙකි. ඔහුද මෙකී කෘතියේ ප්‍රධාන චරිතය හා බැඳුණු චරිතයකි. ඔහු හා සංචාරක නිවාස පාලකයා අතර ඇතිවන කතාබහ තුළින් කෘතියේ කතුවරිය පාඨක මනස ගැඹුරු විවරණ කරා ගෙනයාමට සමත් වෙයි.
“කබීර්, එයාගේ කවිවලින් ඕගොල්ලන්ගේ ආගමත් මගේ ආගමත් අතර පාලමක් ගොඩනැගුණා. කබීර්ගේ දත් බුරුසුව ගැන භාවනා කරන්න. තවුසන්ගේ මරණ ගැන හිතනවට වැඩියෙ ඒක ප්‍රයෝජනවත් වෙයි.”
තාරික් මියාගේ කතාවෙන් නොසතුටට පත් මම මීට පෙර කිසිදාක කබීර්ගේ දත් බුරුසුව ගැන අසා නැති බව පැවසුවෙමි.
“ඔයා දන්නැද්ද ඒ කතාව? කබීර් නර්මදා නදිය දිගේ පහළට යාත්‍රා කරගෙන එන ගමන් තමන් දත් මැද මැද හිටිය දැහැටි කෝටුව ගඟේ මඩ මැද්දට විසි කළා. ඒ දැහැටි රිකිල්ල මුල් ඇදල මහ ගහක් හැදුණා. කබීර්වාද් කියලා ඉන්දියාව පුරාම ඉන්න කවියො, ගායකයො, ගූඨවාදියො දෙවියන්ට භක්තිය දනවන්න, එයාගෙ නොයෙක් නම් වලින් ස්තෝත්‍ර ගායනා කරන්න මේ කබීර්වාද් වනස්පතියෙ හෙවණට ආව. ආගම් වලට මිනී මරාගන්න යුද්ධ කරන කාලෙදිත් එහෙමයි.”
උපුටාගැනීම : නර්මදාවේ ගී රාවය
පූජනීය නර්මදාව එක් ආගමක පමණක් පූජනීය වූ නදියක් නොවන බව ඉහත උපුටාගැනීමෙන් ඔබට පැහැදිලි වනු ඇත. එය විවිධ ආගම් වල භක්තිකයන්ට පූජනීය වූ නදියකි. තාරික් මියාගේ මේ කතාවෙන් එකී කරුණ මෙන්ම තවත් කරුණුද අනාවරණය වන බව ඔබට වැටහේද….?
 ආගම් වලට බෙදුණු මිනිසුන් පසෙක තැබූ කළ නර්මදා නදිය කුමන ආගමක, කුමන තනතුරක සිටිනා අයෙකු වෙනුවෙන් වූවද වෙනසක් නොමැතිව ගලායමින් දිදුලන බව ඔබ මෙහි වචන අතර දුටුවේද?
මිනිසුන් ආගම් වෙනුවෙන් යුද්ධ කරනා විටත්, එකිනෙකා මරා දමමින් ජයපැන් පානය කරනා විටත් නර්මදාව සියලු භේද පසෙක තබා වෙනදා මෙන්ම ගලාගිය බව ඔබ මේ වචන අතර දුටුවේද?
නර්මදාව ආගම් වල වූ සම්ප්‍රදායන් තුළින් මිනිසුන් වෙන් කර බෙදනා අයුරින්ම එකී මිනිසුන්ම එකිනෙකා ළං කරනා ආකාරය ඔබ මේ වචන තුළින් දුටුවේද?
කතුවරිය පාඨක මනස, සීමාවක් නොමැතිව ගෙනයන ගැඹුර එයයි. මෙවැනි කතාබහ මෙකී කෘතියේ සුලභය. එය පාඨක මනසට ප්‍රමාණවත් තරම් අභ්‍යාසයකි.
“ඔයා දන්නවද සංස්කෘතෙන් නර්මදා කියන්නෙ වෛශ්‍යාව කියන එක කියල.”
එයින් මගේ සිත රිදුණේය.
“ඒක වෙන්න බෑ. නර්මදාව තමයි ඉන්දියාවේ වැඩියෙන්ම ශුද්ධවන්ත ගංගාව.”
ඔහු මා දෙසට හැරුණේය. ඔහුගේ මුහුණේ සිහින් ප්‍රීතියක් මතු විය.
“ආ ඇත්ත තමයි, මට ඒක අමතක වුණා. නර්මදාවේ ජලය දිහා බලන එක බැල්මකින් මිනිසුන්ගේ පරම්පරා ගණනක් පව්කාර උපත් වලින් පිරිසිදු වෙනව. හැමදාම මේ ගඟ දිහා බලා ඉන්න ඔයයි මමයි කොච්චර පවිත්‍ර අය වෙන්න ඕනැද කියලා හිතල බලන්න.”
වෛද්‍ය මිත්‍රාගේ උපහාසය මම නොතකා හැරියෙමි.
“එහෙනම් නර්මදා කියන්නේ වෛශ්‍යාව කියන එක වෙන්න බෑ.”
ඔහු තම හීන් දබරැඟිල්ල මා වෙත දිගු කළේය.
“මගේ මිත්‍රයා, හැම දේවල්ම ශුද්ධ දේවල් කරන මාරක ඉන්දියානු රෝගය ඔයාට හැදිලා නැතුව ඇති කියලා මම හිතනවා. නර්මදාවේ භාගයක් බොහොම ශුද්ධවන්තයි. ඇයගෙ ඉවුරු වල පූජනීය ස්ථාන කොච්චර තියෙනවද කියලා දන්නවද? හාරසිය කෝටියක් පුරාණ අටුවාවලට අනුව.”
උපුටාගැනීම : නර්මදාවේ ගී රාවය
වෛද්‍ය මිත්‍රා යනු සංචාරක නිවාස පාලකයාගේ නර්මදාව අභියස ගෙවෙන නිස්කලංක ජීවිතය තුළ හමුවූ තවත් එක් මිතුරෙකි. ඔහු නර්මදාව හා බැඳුණු ආගමික සම්ප්‍රදායන් බැහැර කරමින් තමාගේ විචක්ෂණශීලී තීක්ෂණ බුද්ධියට ඉඩදෙමින් ජීවත්වන්නෙකි. ඔහු නර්මදාව අවට රෝහලක් තෝරාගනිමින් එහි සේවය කරමින් ලබන්නේ තෘප්තියක් මිසක ආගමික වූ ආධ්‍යාත්මික සුවයක් නොවේ.
ඔහු නර්මදාව පිළිබඳ බොහෝ මිනිසුන් අන්ධ භක්තියන්ව භාරගන්නා කරුණු අභියෝගයට ලක් කරනා බොහෝ සත්‍යයන් සොයා යන්නෙකි.
“ඔයා දන්නවද මහා ඇලෙක්සැන්ඩ්‍රියානු භූගෝල විද්‍යාඥයා, ටොලමි නර්මදාව ගැන ලියල තිබුණ. මම හිතන්නේ ග්‍රීක්වරු, ඇලෙන්සැන්ඩ්‍රියානුවන් අහල තිබුණ නර්මදාවේ ශුද්ධවන්තකම ගැනත් අමර්කාන්තන්වල කරන ආගමික සියදිවි නසාගැනීම් ගැනත්.”
ඔහු මගේ සිතිවිලි කියවන්නාක් මෙනි.
“අමර්කාන්තන්වල මිනිස්සු මියයනකම් උපවාස කරනව. නැත්නම් ගංඉවුරෙ තමන්ම ගිනි තියා ගන්නව. එහෙමත් නැත්නම් නර්මදා නදියෙ ගිලිල මැරෙනවා. ඒ ඉපදීම මැරීම ඇති සංසාර චක්‍රයෙන් ගැලවෙන්න.”
මිනිසුන් කරන ආගමික මෝඩකම්වල අන්තවාදීකම පිළිකුල් කරමින් ඔහු හිස සැලුවේය.
………………………………………………………………………………………………………………………………………………………………………..
“පුරාණ ග්‍රීකයො සමහරවිට යම්තාක් දුරකට මේ ගඟ පිළිබඳ තියෙන පුරාකතා පිළිගන්න ඇති. ඒත් ඒගොල්ලෝ පිළිගන්න ඇත්තෙ එක ආරෙක තියෙන පුරාකතා. ඉන්දියානුවො එහෙම නෙවෙයි. ඒගොල්ල එක ආරෙක පුරාකතා වලින් නවතින්න ලෑස්ති නෑ. ඒගොල්ලො සිය විදිහකට ඇති පුරාකතා හිර කරල හරි පුරවගන්නව.”
බැතිමතුන්ගේ අන්ධ භක්තිය හා අනවබෝධය ගැන ඔහු පළ කළ අදහසට මම සිනාසුණෙමි.
උපුටාගැනීම : නර්මදාවේ ගී රාවය
වෛද්‍ය මිත්‍රා යන චරිතය මෙකී කෘතියට කතුවරිය විසින් යොදාගන්නට ඇත්තේ අන්ධ භක්තිය හා බැඳී පවතින්නා වූ විනාශකාරී අදෘෂ්‍යමාන පිරිහීම විස්තර කරන්නට විය යුතුය. අවබෝධයේ නිම් වළලු පුළුල් කිරීමට මෙකී චරිතය හා ඇතිවන කතාබස් පාඨකයන්ට වැදගත් ය. මෙකී කතාබහ තුළින් නර්මදාව හා බැඳුණු ඉතිහාසය මෙන්ම එකී ඉතිහාසයට තව තවත් උලුප්පා පෙන්වීමට අතිශෝක්තිය යොදා ගනිමින් ගොතා ඇති කතා ආශ්‍රයෙන් පාඨකයන්ට පැහැදිලි කිරීමක් ගෙන එයි.
වෛද්‍ය මිත්‍රා නම් වූ මෙකී චරිතය ආධ්‍යාත්මික සුවය සොයා තවුසන්ව නර්මදාව ආසන්නයට පැමිණ බවුන් වඩා අවසානයේ සංසාර චක්‍රය අවසන් කරනු වස් සියදිවි හානි කරගන්නා තවුසන්ගේ ආධ්‍යාත්මික අවබෝධය පිළිබඳව ප්‍රශ්න කරයි.
………………………………………………………………………………………………………………………………………………………………………..
පරම්පරා ගණනාවක් තිස්සේ මහදියෝ වෙළෙඳුන් නර්මදා වන්දනාව තුළින් සිය දිවි පෙවෙත සලසා ගත්තේ භක්තිය රැවටිල්ල තුළින් මනිමිනි. ඔවුහු භූමිතෙල් ලන්තෑරුම් දැල්වූ කඩවල, එරමිණිය ගොතාගෙන ඉඳගෙන සිටිමින් වන්දනාකරුවන්ට අවශ්‍ය සියල්ල විකුණමින් අනවශ්‍ය බොහෝ දේ මිලට ගැනීමට ඔවුන් පොලඹවති. තවත් වටිනා සුවඳ කූරු පෙට්ටියක්, තව කහ පැහැති රෙදි කැබැලි වැනි දේ. අධික මිලට විකුණන්නේ සුබ පල දෙන මැණික් ගල් කැබලි. ඇත්තටම ගඟේ පා කිරීමට මැටි පහන් දුසිමක්?
උපුටාගැනීම : නර්මදාවේ ගී රාවය
මෙකී නර්මදා නදිය ආශ්‍රිතව ජීවත්වන මිනිසුන්ගේ ජීවන තත්වය පැහැදිලි කිරීමක් ඉහත උපුටාගැනීමෙන් ඔබට නිරාවරණය වනු ඇත. ආගමික සම්ප්‍රදායන්හී බුද්ධියේ මොට බව පැත්තකින් තබා බැලූ විට එකී නදිය ආශ්‍රිතව වෙසෙන මිනිසුන්ගේ ජීවිතය ගෙනයාමට එකී ආගමික සම්ප්‍රදායන් හා බැඳුණු වෙළඳාම එක් ප්‍රධාන සාධකයකි. එකී ආගමික සම්ප්‍රදායන් තුළින් නර්මදාව අවට ප්‍රදේශය සංචාරක පුරවරයක් වන අතර ඒ හා බැඳුණු වෙළඳාම තුළින් ජීවිත බොහෝ ප්‍රමාණයක් තම ජීවිකාව සරි කර ගනියි.
“මේක ශිව දෙවියන්ගේ භාර්යාවගේ පින්තූරයක්. පාර්වතී දේවිය. ශිව දෙවියාට ආපසු ආදරේ දක්වනකන් උග්‍ර තාපස වෘතයෙ යෙදුණ. සංගීතය උපත ලැබුවෙ ඒ වගේ අතිමහත් ආදරයක් තුළින් කියල ඔයාට හිතෙන්නැද්ද?”
උපුටාගැනීම : නර්මදාවේ ගී රාවය
මෙකී කෘතියේ ප්‍රධාන චරිතයට නර්මදාව ආසන්නයේ හමුවන තවත් එක් චරිතයකි, සංගීතඥයෙකුගේ දියණිය. ඇගේ මුහුණේ වූ විරූපිබව කෙතරම්ද කිවහොත් ඈ මුල්වරට දකිනා ඕනෑම කෙනෙකු තිගැස්සෙයි. ඇය ප්‍රේමයෙන් පරාජිතය. එකී ප්‍රේම කතාව කලාතුරකින් අසන්නට ලැබෙන අන්දමේ කතාවකි. කෘතිය කියවන පාඨක ඔබට එයට ඉඩදී එතැනින් එහාට මෙකී සටහනට අවශ්‍ය දේ පමණක් ලියා තබන්නම්.
ඇය තමන්ට නොලැබුණු ප්‍රේමය, ආදරය සංගීතය තුළින් දකින්නියකි. ඈ හා සංචාරක නිවාස පාලකයා කරන කතාබහ තුළින් පාඨකයාට ශිව දෙවියන් පිළිබඳව ඇති පුරා කතා, ආගමික කතා පිළිබඳව දැනුවත් විය හැකිය. ශිව දෙවියන් පිළිබඳ බොහෝ කරුණු අනාවරණය කරනා පරිච්ඡේද හිමිවන්නේ සංගීතඥයාගේ දියණියගේ කතාව ගලායන පරිච්ඡේද තුළයි.
………………………………………………………………………………………………………………………………………………………………………..
“ශිව මැවීමේ නර්තනය කරනකන් කිසිම කලාවක් තිබුණෙ නෑ.” ඔහු පැවසුවේ තනුව ඇති වූයේ කෙසේදැයි විස්තර කරන විටය. “චලනයක් නැති රිද්මයක් තුළ සංගීතය නිදාගෙන සිටියා – ඒක ජලය වාගේ ගැඹුරුයි. අඳුර වාගේ කළුයි, වාතය වගේම සැහැල්ලුයි. ඊළඟට ශිව එයාගෙ බෙරය සෙලෙව්වා. පැවැත්මට තියන ආශාවෙන් හැමෝම වෙව්ලන්න පටන් ගත්තා. ශිව නර්තනයෙ යෙදෙද්දී විශ්වය පුපුරා ගියා. සියලු සංගීතයේ ප්‍රධාන කුලුනු වන ශක්තිමත්ම රාග හය උපන්නේ ශිවගේ මුහුණේ පළ වූ නිරූපණයෙන්, විශ්වය ජීවය ලබන්නේ ඒවායේ කම්පන තුළින්.”
උපුටාගැනීම : නර්මදාවේ ගී රාවය
ශිව දෙවියන් ආගමික සම්ප්‍රදායන් තුළ පමණක් නොව සංගීතය තුළද නින්නාද වනු පාඨකයන්ට දැකගත හැකිය. එකී දේව සංකල්පය පාරිසරික කොට සොබාදහම හා සමපාතව යන අයුරින් ශිව හා සොබාදහම හා සමානුපාතව සංගීතය ගලා යන අයුරු පාඨකයන්ට මෙකී පරිච්ඡේදයන් තුළින් ඉගෙන ගත හැකිය.
“නර්මදාවේ ගී රාවය” නමින් සිංහලයට පරිවර්තනය වී ඇති මෙකී කෘතිය තුළින් නර්මදාව ආසන්නයේ පවතින ආගමික සම්ප්‍රදායන් පිළිබඳව තොරතුරු වලින් දැනුවත් කරන අතරම මිනිසුන්ගේ ආගමික ඇදහීම ප්‍රශ්න කරයි. ඒ ආගමික ඇදහීම් හා බැඳී පවතින්නා වූ සම්ප්‍රදායන් ප්‍රශ්න කරයි. පාඨකයන්ට නර්මදාවෙන් ඔබ්බටද ගලා ගොස් සිතන්නට, තර්ක කරන්නට ඉඩ සලසයි. කෘතියේ අවසානය තුළින් කතුවරිය පාඨක අපට මෙකී නර්මදාව හා බැඳුණු ආගමික සම්ප්‍රදායන් හා ගැටී ගැටී ගලා ගිය කෘතියේ දෝලනය නවත්වා දමයි.
එකී නැවැත්වීමේ ඉසව්ව පාඨකයන්ට තෝරාබේරා ගැනීමට ඇය හිස්තැනක් තබයි. එකී හිස්තැන තම තමන්ගේ ජීවිතාවබෝධයේ දිග පළල අනුව පුරවාගනු ඇත. මම මෙහි ජීවිතාවබෝධය යන වචනය පාවිච්චි කළේ දැනුම යන වචනය ඊට බෙහෙවින් කුඩා වන නිසාවෙනි.
මා සිතනා ආකාරයට හොඳ පොතක් යනු පාඨකයා සිටිනා තැනින් එක් දශමයක් හෝ ඉහළට ඔසවා තැබිය යුතු, සිතීමේ හැකියාව සහ දැනුම පුළුල් කරවිය යුතු, නැවත නැවතත් කියවා අලුතින් යමක් අවබෝධ කරගත හැකි, ගැඹුරින් සිතීමට අවකාශ සලසන යමකි. මෙකී කෘතියෙන් එකී සියලු කාර්‍යයන් සපිරෙන බව පවසන්නේ ඉමහත් තුටිනි.
නර්මදාවේ ගී රාවය හා දැහැන් ගත වන්නට සැමට ආරාධනා………….!!!
A River Sutra | Gita Mehta
නර්මදාවේ ගී රාවය
පරිවර්තනය : හේමන්ත රණවීර
විදර්ශන ප්‍රකාශන
මිල රු.1200/-
✍️ නයෝමි හේවාවසම්
Loading...