පියානෝ වාදකයා – The pianist
පොතක් කියවා අවසන් කළ පසු එහි කම්පනය පැය කිහිපයක් යන තෙක් තිබේ නම් එය සාර්ථක පොතකි .සති කිහිපයක් යන තෙක් එහි කම්පනය ඔබව අත් නොහරින්නේ නම් එය අති සාර්ථක පොතක් යැයි කිව හැකිය .නමුත් එය ඔබගේ ජීවිත කාලය පුරාවටම අමතකකල නොහැකිනම් යටපත්ව ගිය ද නැවත නැවත මතකයේ පැටලෙමින් හදපුරා සියුම් වේදනාවක් ඇති කරයි නම් එය ඔබගේ ජීවනාලිය ස්පර්ශකල පොතකි .
“පියානෝ වාදකයා” නමින් සිංහලයට පරිවර්තිත මෙම කෘතිය මින් කුමන කාණ්ඩයට අයත් දැයි තීරණය කිරීමට ඔබට බාරය.
දෙවන ලෝක යුද සමයේ සිදු වූ අනුවේදනීය කතා ඉතිහාසය පුරා පිරී ඇත . බොහෝ දෙනෙක් තමා ලැබූ කටුක අත්දැකීම් සමග වේදනාත්මක අවසන් සුසුම් වාතලයට මුසු කොට අවසන්ය .පණ බේරා ගත්ත උන් එම කටුක අතීතය සිහිපත් කරන්නේ බරැති සුසුම් , හැඬුම් හා වේදනාවන් අතුරෙනි .එම වේදනාවන් පැහැදිලි කිරීමට භාෂාවක් සතු වචන ප්‍රමාණවත් නොවේ .
ස්පිලයිමාන් පෝලන්ත ජාතික ගුවන් විදුලි සමාගමක පියානෝ වාදකයෙක් විය .දෙවන ලෝක යුද්ධයේ අඳුරු සෙවණැලි පෝලන්තය වසා ගන්නට විශාල කාලයක් ගත නොවීය. ඉදින් යුද්ධයේ පළමු වෙඩිමුරය ඇරඹෙන විට තුරුණු ස්පිලයිමාන් පියානෝවේ තත් අතර ඇඟිලි දුවවමින් නේක සංගීත රටා මවමින් සිටියේය .
මේ සටහන මඟින් අපි ඔබට පියානෝ වාදකයා පොත ගැන විචාරයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නොවන්නෙමු. නමුත් හුදු මහත් ලෝකයටම සාපයක් වූ යුද්දයේ විපාක ගැන මනා අවබෝධයක් ලබාදෙන මෙම පොතේ එකම එක කුඩා කොටසක් පමණක් මෙලෙස ඉදිරිපත් කරන්නෙමු .
මෙලොව වසන සෑම සතුටින් පිරි මිනිසෙකුට ම උරුම වූ මවුපිය සහෝදර සෙනෙහස මැද ආදරය පිරීගිය රසවත් උණුසුම් කෑම මේසයක පහස විඳීමට හැමදාමත් ස්පිලයිමාන්ට හැකි විය .නමුත් මුගධ නාසින් විසින් එම සතුට ඔහුන්ගෙන් උදුරා ගන්නා ලදී .
නාසි භටයන් විසින් එක්තරා වැඩබිමක් සඳහා තෝරාගත් පෝලන්ත ජාතක යුදෙව්වන් ගෙනයාම කඩින් කඩ සිදුවිය .එක්තරා අඳුරු පැහැ ගත් අවාසනාවන්ත දිනක මෙම වැඩ බිම සඳහා යාමට සූදානම් වීමට ස්පිලයිමාන් පවුලට අණ ලැබුණි .
වැඩබිම සඳහා ගෙන යන පිරිස , අතර මැදි රැදවුම් ස්ථානයක ගාල් කරනු ලැබීය .ගැහැණුන්, දරුවන් ,තරුණයන් ,මහල්ලන්ගෙන් පිරී ගිය මෙම ගාල් කරනු ලබන පිරිස් අතර ස්පිලයිමාන් , ඔහුගේ මව, පියා ,සහෝදරයා හා සහෝදරියන් දෙදෙනා ද විය .
අධික දරිද්‍රතාවයෙන් උතුරා යාම නිසා මෙම අතරමැදි කඳවුරේ පවා කාසි කීපයක් උපයා ගැනීමට කුඩා කොලු ගැටයන් දත කෑවේය. ඔවුන් කඳවුරේ පීඩිතව සිටි පිරිසට යම් කිසි රසකැවිල්ලක් නොවටිනා මුදලකට අලෙවි කිරීමට උත්සාහ ගත්තේය .
ස්පිලයිමාන් හා ඔහුගේ පවුලෙ උදවිය තමන් සතු සියලු කාසි එකතු කර එවන් රස රසකැවිලි විකුණන කොල්ලෙකුගෙන් එක් කැරමලයක් මිලට ගත්හ .ඔවුන්ගේ පියා එය කුඩා කැබලි 6 කට කපා ඔවුන් අතර බෙදා දෙන ලදී .ඒ ස්පිලයිමාන් තම ආදරණීයයන් සමග ගන්නා ලද අවසන් භෝජනය විය .
සැබවින්ම වැඩබිමක් යැයි පැවසුවද එය සැබෑ වැඩ බිමක්ද නැතහොත් ගෑස් කුටියකට ගෙනයාමක් හෝ සමූහ මිනී වළක් වෙත යාමක් හෝ නැතහොත් ඊට එහා ගිය අමානුෂික ක්‍රියාවක්ද යන කුහුල කාගේ කාගෙත් සිත් තුළ තිබුණද ඒය අනෙකාට නොදැනීමට ඔවුහු උත්සාහ ගත්හ. නමුත් ඔවුන්ගේ දෑස් තුළ සටහන් වූ මරණයේ භීතිකාව වසන් කිරීමට ඔවුන් අපොහොසත් විය .
යුද්ධයෙන් ලද දිනුමක් නැති බවත් ඇත්තේ අහිවීම වීම පමණක්ම බවත් පරාද වන්නේ මනුෂ්‍යත්වය බවත් මෙම කතා නැවත නැවතත් අපට මතක් කර දෙයි.
ජීවිතය යනු අත් නොහැරීම බවත් , බාධක යනු අත්දැකීම් පමණක්ම බවත් මෙම කතාව තුළින් ස්පිලයිමාන් අපට මතක් කර දෙයි .
The pianist
පියානෝ වාදකයා
පරිවර්තනය : චූලානන්ද සමරනායක
ප්‍රකාශනය : සුබාවි ප්‍රකාශකයෝ