නිර්මාණයේ මහා ශෝකය – වින්සන්ට් වැන් ගෝ

“Lust for Life – Vincent Van Gogh” කෘතිය රචනා කළ Irving Stone නම් කතුවරයා තමාම සඳහන් කොට ඇති පරිදි මෙය වින්සන්ට් වැන් ගෝ නම් වූ එම විශිෂ්ඨ චිත්‍ර ශිල්පියාගේ සම්පූර්ණ සත්‍ය කතාවම නොවන අතර මෙයට කතුවරයා විසින් යම් යම් ප්‍රබන්ධ දෑ ඇතුලත් කොට ඇත. කතුවරයා මෙය ලිවීමට වින්සන්ට් වැන් ගෝ විසින් තම ආදරණීය සොයුරා වූ තියෝට ලියූ ලිපි ද, චාරිකා සටහන් ද උපයෝගී කොටගෙන ඇත. ඔහු මෙම කෘතියේ මුදල් ඒකකය පවා ලිවීමේ පහසුව පිණිස වින්සන්ට් විසින් යුරෝපය පුරා කළ සංචාරයන් හි භාවිතා කළ මුදල් ඒකකය “ෆ්‍රෑන්ක්” ලෙස ගත් බවද සඳහන් කොට ඇත.

 

1853 වර්ෂයේ මාර්තු 30 වන දින තියඩෝරස් වැන් ගෝ සහ ඇනා කොර්නේලියා කාර්බෙන්ටස්ගේ දරුවෙකු ලෙස නෙදර්ලන්තයේ සුන්ඩර්ට් හි උපත ලද වින්සන්ට් වැන් ගෝ ඔහුගේ සහෝදර සහෝදරියන් අතරින් වඩාත් ළං වූයේ සහ ආදරය කළේ තියෝ නැමැති තමාට වඩා වසර හතරකින් බාල සොයුරාටය. වින්සන්‍ට් ගේ ජීවිත කතාව තුළ ඉතා වැදගත්, අද්විතීය මෙන්ම මානුෂික චරිතයක් වන්නේද තියෝමය. වින්සන්ට් ගේ දුක් දොම්නසින් පිරුණු දිවිය යම් තරමක් හෝ සුවපහසු වූයේද තියෝ නිසාමය. කුඩා කළ පටන් ආදරයෙන් සහ සෙනෙහසින් බැඳී ඇතිවූ සොයුරන් දෙදෙනා මරණය වනතුරුද ඔවුනොවුන් අත් නොහළේය. වින්සන්ට් 1861 සිට 1868 වර්ෂය දක්වා කාලය නෙදර්ලන්තයේ පාසලකට ගොස් අධ්‍යාපනය ලැබූ අතර ඔහු වැඩිදුර අධ්‍යාපනයකට ඇළුම් නොකළේය.

 

1869 වර්ෂයේදී ඔහු ගුපිල්ස් කලාගාරයේ හේග් ශාඛාවේ කලා අලෙවි නියෝජිතවරයෙක් ලෙස රැකියාවට සම්බන්ධ වූ අතර 1873 වර්ෂයේදී ඔහු එහි ලන්ඩන් ශාඛාවට මාරු කළේය. ලන්ඩන් වල ගතකළ ජීවිතයේදී ඔහුගේ ජීවිතය වෙනස් කිරීමට සමත් වූවා යැයි මා සිතනා හැරවුම් ලක්ෂ්‍යය හමුවූ අතර ඇය නමින් උර්සුලා විය. උර්සුලා කෙරෙහි වින්සන්ට් ආදරයෙන් බැඳෙන අතර ඇගෙන් පෙරළා ආදරයක් වින්සන්ට් හට නොලැබෙන අතර ඇයගේ ආදරය දිනාගැනීම උදෙසා වින්සන්ට් කිහිප වාරයක්ම උත්සාහ කරයි. ඇයගේ ආදරය නොලැබීම හේතුවෙන් ඔහුගේ දින චර්‍යාව වෙනස් වී ඔහු රැකියාව තුළද අසමත්භාවයට, නොසන්සුන්භාවයට පත් වෙයි. ඔහු රැකියාව හැර යයි. නමුත් දිනක් හදිසියේම ඇය බැලීමට වින්සන්ට් පැමිණි මොහොතක ඇය විවාහ වී ඇති අයුරුත් ඇගේ ස්වාමිපුරුෂයා සමඟ සිපගැනීමක යෙදෙන අයුරුත් වින්සන්ට් දකියි. වින්සන්ට් තුළ වූ මානසික ස්ථාවරභාවය නම් වූ ප්‍රෙහෙළිකාවේ මුල්ම කැබැල්ල ඇයට වූ ආදරය නිසාවෙන් ඒ මොහොතේ බිඳවැටුණු බව මගේ හැඟීමයි. කෘතියේ එය මෙසේ දක්වයි.

 

“සිය හදවතේ වූ යම්කිසි සිහින් දෙයක් බිඳෙන අයුරු වින්සන්ට්ට දැනුණි. ඔහුව ග්‍රහණය කරගෙන සිටි කිසියම් මායාවක් කැඩුණි. එය මෙතරම් පහසු වෙතැයි ඔහු කිසි දිනෙක සිතුවේ නැත.”

– නිර්මාණයේ මහා ශෝකය – වින්සන්ට් වැන් ගෝ –

 

උර්සුලා හා ඇගේ ආදරය අහිමි වීමත් සමඟම ඔහුගේ රැකියාවද වෙනස් වන අතර ඔහුගේ නව රැකියාව වන්නේ ගිහි දේශකයෙකු වීමයි. ඔහු පැවත එන්නේද පූජක පවුලකින්

බැවින් මෙයට ඔහුගේ පවුලේ අයගේ සහයෝගයද නොමඳව ලැබෙන අතර 1876 වර්ෂයේ ඔහු දේශකයෙකු වීම සඳහා අධ්‍යාපනය ලබන අතර එහිදී ඔහුගේ නෑදෑ සොයුරියක් වන කේ ඔහුට හමුවේ. කේ ඔහුට වඩා වැඩිමහල් මෙන්ම විවාහකව සිටි අතර දරුවෙකුගේ මවක් විය. ඉන්පසු 1876 – 1880 වර්ෂ වල ඔහු බෙල්ජියමේ බොරිනේජ් හි දුප්පත් පතල් කම්කරුවන් වෙසෙන පළාතක ගිහි දේශකයෙකු ලෙස සේවය කරයි. එම පතල් කම්කරුවන් විඳිනා අපහසුතාවය සහ දුක්ඛ දෝමනස්සයන් දකින ඔහු දෙවියන් කෙරෙහි සැක උපදවාගන්නා අතර එම වැසියන්ට හැකි සෑම අයුරින්ම උදව් කරයි. ඔහු තමා ගැන පවා නොසිතා කරනා උදව් උපකාර හමුවේ දැඩි ලෙස අවසානයේ රෝගාතුර වන ඔහුට කිසිදු අගය කිරීමක් හෝ නොමැතිව සේවයෙන් නෙරපයි. ඉන්පසු ඔහු බ්‍රසල්ස් වෙත යන්නේ තමාගේ චිත්‍ර ශිල්පය වැඩි දියුණු කරගැනීමටය. එහිදී පෙර කී ඔහුගේ නෑදෑ සොයුරිය කේ වැන්දඹුභාවයට පත් වී වින්සන්ට් ගේ නිවසෙහි නතර වීමට දරුවා සමඟ පැමිණෙන අතර තනිවී සිටි මෙන්ම උර්සුලාගේ පිටුපෑමෙන් හදවත බිඳී සිටි වින්සන්ට් ඇය කෙරෙහි ආදරයකින් මුසපත් වේ. ඇයට එම ආදරය ප්‍රකාශ කිරීමට යාමේදී ඇය විසින්ද ප්‍රතික්ෂේප වන වින්සන්ට් ඉතා ශෝකජනක අන්දමින් තමාගේ කාලය ගතකරයි. පෙරළා ඇයව සොයා ඇගේ දෙමාපියන්ගේ නිවසට ඔහු ගියද, ඔවුන් ඔහු පිළිකෙව් කිරීම සහ කේ ගේ මගහැරීම සහ පිටුපෑම නිසාවෙන් ඔහු එහිදී ඔවුන් ඉදිරියේ තමාගේ අත පුළුස්සා ගන්නා අවස්ථාවක් පිළිබඳ විස්තරයක් ද කෘතියෙහි සඳහන් වේ.

 

කේ තමා ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔහු චිත්‍ර කලාව පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය සඳහා 1882 වර්ෂයේදී හේග් වලට පිටත් ව ගොස් ඔහුගේ ඥාති සොයුරෙකු වන මෝව්ගේ පිහිට පතා යයි. එහිදී ඔහුට ක්‍රිස්ටීන් (සියන්) නම් වූ ගැබිණි ගණිකාවක් හමුවන අතර ඇයගෙන් ආදරය සහ කරුණාව ලබන වින්සන්ට් පෙරළා ඇයට ආදරය කරයි. ඔහුගේ චිත්‍ර බොහොමයකට ඇය නිරූපිකාව වූ අතර ඇය කළ රැකියාව වූ ගණිකා වෘත්තියෙහි ඇය නොරැඳීමට වින්සන්ට් ඇයට නිරූපණය වෙනුවෙන් ලබාදුන් මුදලින් ජීවිත් විය. පසුකලෙක ඇය හා එකට වාසය කරන ඔහු ඇය විවාහ කරගැනීමට අදහස් කළද, තියෝ පැමිණ එය පසුවට කල්දමා ගැනීමට සමත් විය. අවසානයේ සියන් නම් වූ ගණිකාවද වින්සන්ට් ගෙන් සමුගන්නා අතර වින්සන්ට් ආදරය කළ ගැහැණුන්ගෙන් පෙරළා කිසිවෙක් ඔහුට ආදරය නොකළ මිනිසෙකු ලෙසින් ඇගෙන් සමුගත් වින්සන්ට් 1884දී නියුන් හි පිහිටි තම දෙමාපිය නිවසට පිටත් වේ. එහිදී මාග්‍රොට් නම් වූ වැඩිමහල් කාන්තාවක් වින්සන්ට්ට ආදරය කරන අතර ඔහුට පෙරළා ඇයට ආදරය කිරීමට නොහැකි වීමේ වේදනාව ඔහු පෙළයි. නමුත් වින්සන්ට් ඇයට ඔහු ළඟ රැඳීමට සහ ඔහුට ආදරය කිරීමට අවස්ථාව ලබාදෙයි. මාග්‍රොට් ගේ නිවසින් මෙම සම්බන්ධතාවයට අකමැති වූ හෙයින් ඇය, වින්සන්ට් කෙරෙහි වූ ඇගේ ආදරය වාවාගත නොහැකිව වස පානය කොට සියදිවි නසාගැනීමට උත්සාහ කරන අතර එයින් වින්සන්ට් ගේ තත්වය තවත් නරක අතට හැරේ. නමුත් මෙකී වර්ෂ ගණනාව පුරාවට ඔහු චිත්‍ර ඇඳීම නතර නොකළේය.

 

1886 වර්ෂයේ වින්සන්ට්, ඔහුගේ සොයුරා වූ තියෝ සමග ජීවත්වීමට පැරිසිය බලා පිටත් වන අතර එහිදී චිත්‍ර කලාව පිළිබඳ වෙනස් වෙනස් කෝණයක් සහ බොහෝ කරුණු ඉගෙනගන්නා ඔහු තමා වැනි වූ සහෝදර ශිල්පීන් ගණනාවක් එහිදී හඳුනා ගනියි. 1888 වර්ෂය තෙක් පැරිසියේ රැඳෙන ඔහු එයින් පිටත් වන්නේ ආර්ල්ස් කරාය. කුඩා ගම්බද පෙදෙසක් වූ එය, වින්සන්ට් ව තේරුම් ගැනීමට නොහැකි වූ මෙන්ම, පසුකලෙක ඔහුව පිස්සෙකු ලෙස හැඳින්වූ ජනතාවක් දරා සිටියේය. ඔහු මානසික ලෙඩෙකු බව හඳුනාගෙන ප්‍රතිකාර ලබාගැනීම කෙරෙහි යොමුකරවූ එම ආර්ල්ස් ඔහුගේ ජීවිතයේ විශේෂ මන්සංධියක් බව මට හැඟේ. 1888 වසරේ දෙසැම්බර් මස වින්සන්ට් වැන්ගෝ විෂාදයෙන් පෙළෙමින් සිය දකුණු කණ කපාගත්තේය. ඔහු ඔහුගේ කපාගත් කන් පෙත්ත ආර්ල්ස් හි ඔහු දැන හඳුනගත් ගණිකාවත් වූ රේචල්ට දුන් බව කෘතියෙහි සඳහන් වේ. ඉන්පසු ඔහු ආර්ල්ස් හි රෝහලට ඇතුළත් කරන අතර ඔහුට අපස්මාරය සහ මානසික රෝගයක් ඇති බව සොයාගන්නා ලදි. එම රෝහලේ සිටින අතරේ වින්සන්ට්ගේ තම මුලු ජීවිත කාලය තුළදීම විකිණුනු තම එකම චිත්‍රය වන “The Red Vineyard” අලෙවි වී ඇති බවත්, එයට ලැබුණු මුදල් සමග තියෝ ලිපියකින් වින්සන්ට් ට දැනුම් දෙයි. එයින් ප්‍රහර්ෂයට පත් වින්සන්ට් නැවතත් ඇතුළාන්තයෙන් පිබිදී ජීවිතයට මුහුණ දෙයි. ආර්ල්ස් හි රෝහලෙන් තම සොයුරු තියෝගේ අවසරය යටතේ “සෙන්ට් රෙමී” සරණාගතගාරය වෙත යවන ලද වින්සන්ට් එහිදී කළ සිතුවම් වල ඔහුගේ ප්‍රකට සිතුවමක් වන “Starry Night” සිතුවමද ඇතුලත් ය.

                        The Red Vineyard                              

 

                                                                                                 

The Starry night

 

 

සෙන්ට් රෙමී වලින් පසු තියෝගේ ඉල්ලීම පරිදි වින්සන්ට් Auvers – Sur Oise බලා පිටත් වේ. එහිදී ඔහුට මිතුරෙකු වන්නේ වෛද්‍ය ගෂේ ය. වින්සන්ට් නිර්මාණය කළ වෛද්‍ය ගෂේ ගේ සිතුවම වර්තමානයේ බොහෝ අයගේ කතාබහට ලක්වූවකි. වින්සන්ට් තමාගේ මානසික රෝගයේ උච්චතම අවස්ථාවට පැමිණෙන බව කතුවරයා අපට පවසන්නේ ඔහුගේ සොයුරු තියෝගේ රැකියාව අහිමිවීම සහ දරුවා අසනීපවීම වැනි හේතූන් දක්වාලමිනි. අවසානයේ 1890 ජූලි 27 වැනිදා ඔහු තිරිඟුයායක දී වෙඩි තබා ගන්නා අතර තියෝ වහාම ඔහු බැලීමට පැමිණේ අවසන් දිනයන් තියෝ සමඟ අත් අල්වාගෙන බාල කාලයේ මතකයන් කතාබහ කරමින් කාලය ගතකළ වින්සන්ට් 1890 ජූලි 29 වන දින මෙලොවින් සදහටම සමුගත්තේය. ඊට මාස කිහිපයකට පසු 1891 වර්ෂයේ ජනවාරි මස තියෝ අසනීපව මෙලොවින් සදහටම සමුගත්තේය.

ඔවුන් දෙදෙනාම Auvers හී ඉතා සන්සුන්, සුන්දර පෙදෙසක කුඩා සොහොන් බිමක ඉතා සමීපයෙන් සමාදානයේ සැතපී සිටියි.

 

                                              Dr.Gachet                                                          

         

                             

            සියදිවි නසාගැනීමට භාවිතා කළ තුවක්කුව                                                                                                                  

        වින්සන්ට් වැන් ගෝ හා ඔහුගේ සොයුරු තියොගේ සොහොන                                      

 

මෙය මෙම කෘතිය අනුව වින්සන්ට් වැන් ගෝ ගේ කතාව වන අතර කෘතියට වඩා බොහෝ පරස්පර තැන් අන්තර්ජාලය භාවිතයේදී මට හමුවිය. එමෙන්ම කෘතියට එහා ගිය තොරතුරු සෙවීමට මා වඩාත් පෙළූයේ මේ සංවේදී මෙන්ම ඉතා දුක්බර ජීවිතයක් ගත කළ වින්සන්ට් ගේ කතාව නිසාවෙනි. අද ලෝකයේ ඔහුගේ චිත්‍ර පිළිබඳ කතා නොකරන අයෙක් නැති තරම් ය. ඒවාට ඇළුම් නොකරන අයෙක් නැති තරම් ය. නමුත් ජීවත්ව සිටියදී තමා ඇඳි සිතුවම් විකුණාගත නොහැකිව ඔහු කොතරම් දුක් පීඩා විඳින්නට ඇතිද? ඔහු නිරතුරුවම කුසගින්නෙන් සහ උණෙන් පීඩා වින්ද බව ඔහු පිළිබඳව ලියැවුණු සෑම ලිපියකම, කෘතියකම සඳහන්ව ඇත. තම ජීවිත කාලය තුළ තමන් ඇඳි බොහෝ සිතුවම් අතරින් විකිණුනේ එක් සිතුවමක් පමණි. ඔහුව අගය කිරීමට තියෝ හැර වෙනත් කිසිවෙක් සිටියේද නැත. ඔහුව උන්මත්තකයෙකු ලෙස හංවඩු ගැසූ මිනිසුන් මිස ඔහු තේරුම් ගැනීමට හැකි මිනිසෙකු නොසිටියේය. අවසානයේ ඔහු සියදිවි නසාගත්තේය. ඔහු අවසානයේ ඔහුගේ සොයුරාට පැවසූ බව කියන්නේ “දුක සදහටම පවතිනු ඇත.” යන්නය.

 

ඔහුගේ මරණින් පසු තියෝගේ බිරිඳ ජොඈන් ඔහු ඇඳි චිත්‍ර සියල්ල සංරක්ෂණය කළාය. ඇය ඔහු තියෝ වෙත එවූ ලියුම් එකතු කොට 1914 වර්ෂයේදී ලන්දේසි භාෂාවෙන් ඒවා ප්‍රකාශයට පත්කළේය. ඇය ඔහුගේ මරණින් මතු වුවද ඔහුගේ චිත්‍ර ජනතාව අතරට රැගෙන ගියේය.

 

1973 වර්ෂයේදී ඇම්ස්ටර්ඩෑම් හිදී වැන්ගෝ කෞතුකාගාරය ඇරඹිනි. 1987 වර්ෂයේදී වැන්ගෝ ගේ සූරියකාන්ත සිතුවම් පහෙන් එකක් පවුම් මිලියන 24.75කට අලෙවි විය. 1990 වර්ෂයේදී වැන් ගෝ සිතුවම් කළ Dr. Gachetගේ සිතුවම පෞද්ගලික චිත්‍ර එකතුකරන්නෙකුට ඩොලර් මිලියන 82.5කට අලෙවි විය. ජීවත්ව සිටි කාලයේ ඔහු නොලැබූ බොහෝ ගෞරවයන් ඔහුගේ මරණින් මතු ඔහු ලැබුවේය. අද ලෝකයේ ඔහුගේ චිත්‍ර විෂාදය පෙන්නුම් කිරීමට සමත් චිත්‍ර බවට පත් වී ඇත. ඔහු සූරියකාන්ත මල් සහ අනෙකුත් චිත්‍ර සඳහා යොදාගත් කහ පැහැය “වැන්ගෝ යෙලෝ” ලෙස හඳුන්වන්නට පටන් ගෙන ඇත. ජීවත්ව සිටි කාලයේ ඔහුව ජීවමාන ඇසින් දුටු කිසිවෙකුත් වටහා නොගත් ඔහුගේ මානසික පීඩනය අද සමාජයේ ඔහු ජීවමානව නොදැකපු බොහෝ අය විනිවිද දැකීමට සමත් වී ඇත. ඔහුගේ මරණින් අවුරුදු එකසිය ගාණකට පසු ඔහු වෙඩිතබා ගැනීමට යොදාගත් “7mm Lefaucheux” ගිනි අවිය යූරෝ 162,500කට අලෙවි විය. නමුත් ඔහු ජීවත්ව සිටි කාලයේ ඔහුගේ සොයුරු තියෝ හැර වෙන කිසිවෙකුත් ඔහුට ඉතා සුළු මුදලක් දීමට පවා ඉදිරිපත් වූයේ නැත. අද සමාජයේ කතාබහට ලක්වන චිත්‍ර එදා ඔහු ජීවත්ව සිටි කාලයේ මිනිසුන් විසින් පිළිගත්තේ නැත.

Van Gogh Museum

වැන්ගෝ ගේ කන කපාගැනීම පිළිබඳවද බොහෝ අදහස් සහ මත අද එකිනෙක අය ඉදිරිපත් කරයි. සමහරෙක්, කනෙහි කුඩා කොටසක් ඔහු කපාගත් බව සඳහන් කරන අතර, සමහරෙක් මුලු කන් පෙත්තම කපාගත් බව සඳහන් කරයි. එමෙන්ම ඒ සඳහා වෛද්‍යවරයකු විසින් නිකුත් කළ පත්‍රිකාවක් ද අන්තර්ජාලයෙන් ඔබට හමුවනු ඇත. එමෙන්ම වැන් ගෝ ගේ කන කපා ඔහු එය රේචල් නම් ගණිකාවක් වෙත ගෙනදුන් බව ඇතැම් තැන් හි සඳහන් වුවද, එම කාලයේ  ආර්ල්ස් හි රේචල් නමින් ගණිකාවක් නොවූ බවද, ගැබී නම් වූ පිරිසිදු කරන්නියකට වැන් ගෝ කනෙහි කපා දැමූ කොටස ගෙන ගොස් දුන් බවද සඳහන් වේ.

                                                                                       sunflowers                                                                                                                                                                 

එමෙන්ම වින්සන්ට් නමින්ම වූ මාමා කෙනෙකු වින්සන්ට් වැන්ගෝට සිටි අතර ඔහු වැන්ගෝට තම දේපළ වලින් කිසිවක් නොදුන් බවත්, ඒවා තියෝට පැවරූ බවත් ඇතැම් තැනෙක සඳහන් වූවත්, වින්සන්ට් මාමා තම දේපළින් ඉතා කුඩා කොටසක් වැන්ගෝ නමට ලියූ බවත් ඇතැම් තැනෙක සඳහන්ව තිබෙනවා. මෙලෙස වින්සන්ට් වැන් ගෝ නම් වූ දක්ෂතම චිත්‍ර ශිල්පියාගේ ජීවිතයේ සමහර අවස්ථා පිළිබඳ යම් යම් මතභේද ඇත. කෙසේවෙතත් ඔහුගේ චිත්‍ර තුළින් සහ පින්සල් පහරින් ඔහු පිළිඹිබු කරන ඔහුගේ ඇතුළාන්තයේ ශබ්දය එම චිත්‍ර දෙස බලන ඕනෑම අයෙකුට කිසිදු සැකයක් නැති බව මා විශ්වාස කරනවා. රළු ආකාරයෙන් සායම් සහ පින්සල හසුරුවා ඇති ආකාරයත්, ඔහුගේ චිත්‍ර මුල සිට අගට පිළිවෙළින් බලන අයෙකුට ඔහුගේ චිත්‍ර කලාවේ වූ වෙනස්කම්, මානසික පීඩනයත් සහ වර්ණ වල වූ පැහැදිලි වෙනස්වීමත් හොඳින් නිරීක්ෂණ කළ හැක.

වින්සන්ට් වැන් ගෝ ගේ අවසාන සිතුවම

 

අවසාන වශයෙන් මා වින්සන්ට් වැන් ගෝ හඳුන්වන්නේ සහ මතක තබා ගන්නේ මෙයාකාරයෙනි.

තම ජීවිතය තුළ තමා සෙවූ අරමුණ නොලැබූ, තමා සෙවූ ආදරය නොලැබූ, තමා සෙවූ අවධානය නොලැබූ, තමා සෙවූ සතුට සහ ප්‍රහර්ෂය නොලැබූ, තමාට හිමි නිසි ස්ථානය නොලැබූ නමුත්, අසාහය, දක්ෂතම මෙන්ම තමාගේම කලාවක් බිහිකළ බොහෝ සෞම්‍ය සිත් ඇත්තෙකු වූ සදාකාලයටම ගැලපෙන සිත්තරෙකු ලෙසයි.

 

Lust For Life – Vincent Van Gogh | Irving Stone

නිර්මාණයේ මහා ශෝකය – වින්සන්ට් වැන් ගෝ

පරිවර්තනය : සුභා රණවීර

සරසවි ප්‍රකාශන

මිල රු. 790/-

 

– නයෝමි හේවාවසම් –

 

                                                                                                                                                    

Loading...