ඩබ්ලියු . ඒ. සිල්වා මහතා 

සිංහල සාහිත්‍ය තුළ  වැඩිමනක් කෘතීන් අලෙවි වූයේ ඩ්බ්ලියු.ඒ. සිල්වා මහතාගේ යැයි කිවහොත් එය නිවැරැදිය .කතාව පුරාම ගලායන කුතුහලය , කතාවේ අවසානයේ දී ඉතාමත් අපූරු ආකාරයට නැවතත් කථාව  පටන් ගැන්ම හා සම්බන්ධ කරමින් පාඨකයා  කතාව තුළ විශ්මයට පත් කිරීම මෙතුමා සතු අපූරු කුසලතාවයක් බව මෙතුමාගේ පොත් කියවන , කියවා ඇති පාඨකයන්ට නම් අමුතුවෙන් කිව යුතු නොවේ .

වැල්ලවත්ත ආරච්චිගේ ඒබ්‍රහම් සිල්වා 1890 ජනවාරි මස 16 වන දින වැල්ලවත්ත ප්‍රදේශයේ  මධ්‍යම පන්තියේ පවුලක උපත ලැබුවේ ය .

හෙතෙම සිංහල , පාලි , සංස්කෘත, ඉංග්‍රීසි යන භාෂාවන්ගේ හසල බුද්ධියෙන් විශාරද විය . තම පළමු නවකතා වන “සිරියලතා” මගින් එතුමා සතළොස් වියේදී ම තම සාහිත්‍ය හරඹය ආරම්භ කරන ලදී .

එසේම තුරුණු වියේ දී වෙළඳ ලිපිකරුවකු ලෙස ගෙවුණු කාලය තුළ “ලංකා සමය” වැනි පුවත්පතද , “සිරිසර,” ” නුවණ”,  “තිලක” වැනි මාසික සඟරා මගින් පුවත්පත් කලාවට එතුමාගෙන් වූ සේවය අති මහත්ය .

1922 දී එතුමාගේ දෙවන නවකතාව වන “ලක්ෂ්මි”  එතුමා අතින් රචනා විය.
එතුමාගේ නවකතා අතුරින් කැලෑ හඳ ( චිත්‍රපටයකට නැගුණු පළමු සිංහල නවකතාව) හිඟන කොල්ලා , දෛව යෝගය  ශ්‍රී ලාංකිකයන්ගේ හිත් තව තවත් මෙතුමා කෙරෙහි අලවා තැබීමට සමත් විය .එසේම මෑතකදී තිරගත වූ විජයබා කොල්ලය ඩබ්ලියු . ඒ සිල්වා මහතාගේ තවත් අග්‍රගන්‍ය කෘතියකි .

සිංහල සාහිත්‍යයට අමිල සේවාවක් කළ ඩබ්ලියු . ඒ . සිල්වා ගේ ප්‍රබල පෑන 1957 මැයි 31 වැනි දින සිට සදහටම ක්‍රියාවිරහිත වී ගියත් එතුමා විසින් ලියා තැබූ මිණිකැට වන පොත් මතු මතුත් අප රස විඳින්නෙමු.

එසේම මෙතුමාගේ උපන් ගම වන කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලවත්ත ප්‍රදේශයේ අංක 126 ඩබ්ලියු . ඒ. සිල්වා  මාවතේ පිහිටි මෙතුමාගේ නිවස කෞතුකාගාරයක් බවට පරිවර්තනය කර ඇති අතර , එහිදී ඔබට මෙතුමාගේ අත්පිටපත් , නවකතා පිටපත් සහ එතුමා විසින් පරිහරණය කරන ලද භාණ්ඩ දැක බලාගැනීමේ හැකියාව ඇත.

සාහිත්‍ය ලෝකයට දායාද කළ කෘතීන් ..

සිරියලතා  (1907)
ලක්ෂ්මි  (1922)
හිඟන කොල්ලා   (1923)
පාසල්  ගුරුවරි (1924)
කැලෑ හඳ  (1933)
දෛව යෝගය  (1936)
සුනේත්‍රා (1936)
විජයබා කොල්ලය (1938)
රදල පිළිරුව
හඳ පාන
ජුලි හත
රිදී හවඩිය
ලෙන්සුව
සක්විති රජ
අමෘත හස්තය
දල කුමාරි
අරාබි නයිට්ස් (පරිවර්තනය)
මායා යෝගය (නාටක )
රාමායනය (පරිවර්තනය)

Loading...